පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ කෞතුකාගාර යන්න පැරණි භාණ්‌ඩ එකතුන් රැසක්‌ එක්‌රැස්‌ කොට තිබෙන ස්‌ථානයක්‌ වුවත් වර්තමානය වන විට කෞතුකාගාර සමාජ ක්‍රියාවලිය හා බද්ධ වී ක්‍රියාකරන ඉතා වැදගත් ආයතනයක්‌ බවට පත් වී ඇත. අද කෞතුකාගාර ඒ ඒ රටවල සංස්‌කෘතික අධ්‍යාපනික හා විද්‍යාත්මක සංවර්ධනයට ද විනෝදාස්‌වාදය සඳහා ද පවත්වා ගෙන යනු ලබයි. මේ අනුව ඒ හා බැඳුණු විශාල කාර්යභාරයක්‌ කෞතුකාගාර මගින් සිදුවේ. කෞතුකාගාර විද්‍යාව තුළින් ප්‍රධාන වශයෙන් කෞතුකාගාර භාවිතයන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙන අතර කෞතුකාගාර හා සමාජය අතර තිබිය යුතු සම්බන්ධය ශක්තිමත් කිරීමට වෑයම් කරයි.