පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ. ජලාශ්‍රිත පුරාවිද්‍යාව වූ කලී ශක්තිමත් න්‍යායාත්මක පදනමක් සකසා ගනිමින්, විධිමත් ක්‍රමවේද පද්ධතියක් හරහා නවීන තාක්ෂණයද උපයෝගී කර ගනිමින් වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ ජලය/සාගරය සමඟ සම්බන්ධවූ මානව අතීතය පිළිබඳ අධ්‍යනය කරන විෂය ක්ෂේත්‍රයකි.