පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ පිළිබඳ අධ්‍යයනය කරන විෂය ක්ෂේත්‍රයක් ලෙසද මහජනතාව අතර ජනප්‍රිය මතයක් මේ පිළිබඳව ගොඩනැගී ඇත. එකිනෙකට වෙනස් භෞතික ස්වභාවය හේතුවෙන්ම, එනම් මුහුදු පත්ලේ හෝ ජලයෙන් යට සිදුකරනු ලබන පර්‍යේෂණ සහ ක්ෂේත්‍ර කටයුතු හේතුවෙන් ජලාශ්‍රිත පුරාවිද්‍යාව නෛතික විෂයයක් ලෙස වෙනම වර්ධනය වූ ආකාරයක්ද දක්නට ලැබේ. 

නමුත් විවිධ සීමාවන් හා ප්‍රායෝගික ගැටළු මත තවමත් මෙම ආකර්ශනීය විෂය ඉගැන්වීම සහ ක්ෂේත්‍ර කටයුතුවල නියැලීම රජයේ විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨයන්ට පමණක් සීමාවී ඇත. මේ නිසා ජලාශ්‍රිත පුරාවිද්‍යා විෂය පිළිබඳ කැමැත්තෙන් පසුවන අතිමහත් බහුතරයකට මේ විෂය සමග විධිමත් ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. එවන් පසුබිමක් තුළ, ජලාශ්‍රිත පුරාවිද්‍යාව විෂය පිළිබඳ රුචිකත්වය දක්වන, එමෙන්ම, එම විෂය පිළිබඳ ක්‍රමවත් අවබෝධයක් ලබා ගැනීමට කැමති සිිංහල භාෂක සමාජයේ සාමාජිකයින් සඳහා මෙම කෙටිකාලීන මාර්ගගත පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.